Get Mystery Box with random crypto!

අනුමාපන හා සම්බන්ධ වැදගත් කරුණු අනුමාපන අනුමාපනයකදී | Science Panthiya

අනුමාපන හා සම්බන්ධ වැදගත් කරුණු

අනුමාපන

අනුමාපනයකදී ප්ලාස්කුවකට වෙන් කරගත් දෑ අනුමාපිතය ලෙසද බියුරෙට්ටුවෙන් එකතු කරන දෑ අනුමාපකය නම් වේ.

බියුරෙට්ටුවේ කරාමය ඇර අදාල ද්‍රාවණය එකතු කරන විට ප්ලාස්කුවේ ඇති ද්‍රාවණය ටිකෙන් ටික ප්‍රතික්‍රියා කරමින් අවසන් වේ.

අනුමාපනයේදී භාවිතා වන විද්‍යාගාර උපකරණ පිරිසිදු කරන ආකාරය

1.අනුමාපන ප්ලාස්කුව ආස්‍රැත ජලයෙන් පමණි.

2.පිපෙට්ටුව පලමුව ආස්‍රැත ජලයෙන්ද දෙවනුව මැනීමට යොදාගන්නා ද්‍රාවනයෙන් /අනුමාපන ප්ලාස්කුවකට එකතු කරන ද්‍රාවණයෙන් සෝදා ගනු ලබයි.

3.බියුරෙට්ටුව පලමුව ආස්‍රැත ජලයෙන්ද දෙවනුව එයට පුරවා ගන්න ද්‍රාවණයෙන්ද සෝදයි.

සාමාන්‍යයෙන් බියුරෙට්ටුවට අම්ලය යොදා අනුමාපන කරන නමුත් එය අත්‍යාවශ්‍ය නැත.

අනුමාපන ප්ලාස්කුවකට ද්‍රාවණය යෙදීමේදී එහි අවශ්‍ය පරිමාව පිපෙට්ටුවකට ගෙන එකතුකරනු ලබයි.

ද්‍රව මට්ටම පිපෙට්ටුවේ ක්‍රමාංකිත ලකුණට සමපාත කරගැනීමේදී, පිපෙට්ටුවේ තුඩ
ද්‍රාවණයේ ගිලී නොතිබිය යුතුයි.

පිපෙට්ටුව සිරස්වද අනුමාපන ප්ලාස්කුව ඇලයටද තබා පිපෙට්ටුවේ තුඩ ප්ලාස්කුවේ ඇතුල් බිත්තියේ ස්පර්ශවන ලෙස තබා සෙමෙන් ද්‍රාවණය එකතු කල යුතුය.

මෙහිදී ද්‍රාවණය යෙදීමෙන් පසු පිපෙට්ටු තුඩෙහි ඉතිරිවන අවසන් ද්‍රව බිංදුව පිඹීමෙන් එකතු නොකල යුතුය.

අනුමාපනය ආරම්භයේ දී ,බියුරෙට්ටුව සැමවිටම ශුන්‍ය ලකුණට පිරවීම අත්‍යාවශ්‍ය නොවේ.

අනුමාපනයක් පිලිබදව ගණනය කිරීමෙන් ලැබෙන සෛද්ධාන්තික අගය එහි සමකතා ලක්ෂ්‍යය නම්වේ.ප්‍රායෝගිකව පරීක්ෂණය කිරීමෙන් ලැබෙන අගය අන්ත ලක්ෂ්‍යය නම්වේ.

ඇතැම් අනුමාපනවලදී අන්ත ලක්ෂ්‍ය හදුනාගැනීම සදහා දර්ශකයක් යෙදීම අත්‍යාවශ්‍ය නොවේ.

සමකතා ලක්ෂ්‍යය හා අන්ත ලක්ෂ්‍යය අතර අන්තරය අනුමාපන දෝෂය නම් වේ.

බියුරෙට්ටු පාඨාංකය වැඩිකරගැනීමට අනුමාපකයේ සාන්ද්‍රනය අඩුකිරීම හෝ අනුමාපිතයේ පරිමාව වැඩිකිරීම කල හැක.



ප්‍රාථමික ප්‍රමාණික ද්‍රව්‍ය

ප්‍රාථමික ප්‍රමාණික ද්‍රව්‍ය යනු නියත වශයෙන් දන්නා සංයුතියක් ඇති,ඉහල සංශුද්ධතාවයකින් ලබාගත හැකි ඝනයක් ලෙස හෝ ද්‍රාවණයක් ලෙස හෝ ස්ථායිව ගබඩාකර තබාගත හැකි ඝනයකි.

අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවලදී භාවිතා කරන ප්‍රාථමික ප්‍රමාණික ද්‍රව්‍ය

1.සෝඩියම් කාබනේට්(Na2CO3)

2.සෝඩියම් ටෙට්‍රාබෝරේට්(Na2B4O7)

3.පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්

4.නියත තාපාංක HCl අම්ලය

5.බෙන්සොයික් අම්ලය

6.පොටෑසියම් හයිඩ්‍රජන් අයඩේට්[KH(IO3)2]

රෙඩොක්ස්/ඔක්සිකරණ-ඔක්සිහරණ ප්‍රතික්‍රියාවල භාවිතා කරන ප්‍රාථමික ප්‍රමාණික ද්‍රව්‍ය

1.පොටෑසියම් අයඩේට් [KIO3]

2.පොටෑසියම් ඩයික්‍රෝමේට්[K2Cr207]

3.පොටෑසියම් බ්‍රෝමේට්[KBrO3]

4.සෝඩියම් ඔක්සලේට්[NA2C2O4]

5.ආසනික්(3) ඔක්සයිඩ්

6.සංශුද්ධ යකඩ

@sciencepanthiya